CV එක පිළිවෙලකට හදාගන්නේ කොහොමද ? : how to make your CV properly?

අද ඕනෑම ක්ෂේත්‍රයක් ගත්තම තරඟකාරීත්වය වැඩි වෙලා තියනවා. ඒ වගේම උපාධියක් හදාරන පුද්ගලයෙක්ගේ මීළඟ සිහිනය තමයි හොඳ රැකියාවක් සොයාගැනීම. මාත් ඇතුළුව තොරතුරු තාක්ෂණ උපාධියක් හදාරන ශිෂ්‍යයෙක් නම් IT Industry හි රැකියාවක් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා අධ්‍යාපනික සුදුසුකම් අනිවාර්‍ය කරුණක්. ඒ වගේම අමතරව තව තව දේවල් කීපයක් බලපානවා. මනෝවිද්‍යාවේ කියන First impression කතන්දරේ හැටියට, රැකියාවකට අයදුම් කරන කෙනෙක් ගැන, යම් ආයතනයක් යහපත් හැඟීමක් ඇති කරගන්න තියෙන ප්‍රථම සාධකය මොකක්ද? CV එක. මොකද මම එහෙම කියන්නේ ඔබ සියල්ලන්ටම පෙර, රැකියාවක් බලාපොරොත්තු වෙන සමාගමට යවන්නේ ඔබගේ CV එක එමගින් ඔවුන් ඔබ පිළිඹඳව සැහීමකට පත් වුවහොත් පමණයි ඔබට සම්මුඛ පරීක්ෂණයකට කැඳවන්නේ, දැන් තේරෙනවා නේද CV එකක තියන බරපතලකම? නමුත් ගොඩක් අය වරද්දගන්න තැන තමයි මෙතන. පිළිවෙලකට තියෙන CV එකක් කියවන්න කවුරු උනත් ප්‍රියයි. ඒ නිසා මම හිතුවා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට එන්න හිතාගෙන ඉන්න අයට උදව්වක් විදිහට CV එක, නැත්නම් වෘත්තීයමය සුදුසුකම් පිළිබඳ සාරාංශ සටහන හදනකොට සැළකිලිමත් විය යුතු දේවල් කීපයක් ගැන ලියන්න.

කොහොමද තොරතරු පිළිවෙලකට පෙලගස්වාගන්නේ ??


ආයතනයක් CV එකකින් බලාපොරොත්තු වන්නේ ඔහුගේ ජීව දත්ත වලට වඩා වෘත්තීයමය සුදුසුකම් වලටයි , මොකද මම එහෙම කියන්න හේතුව ගොඩක් පුද්ගලයෝ CV එකක් හදනවා කිව්වම අර පාසල් කාලයේ Bio Data Form එකක් හදනවා වගේ ජීව දත්ත ආකෘතියක අවධානය යොමු කරනවා මෙය එක්තරා විදියකට මා දකින අයුරින් නිර්මනශිලිත්වයක් නොමැති කම්මැලියන් කරන ක්‍රියාවක්. ඒ නිසා පුළුවන්තරම් වෘත්තීයමය සුදුසුකම් වලට අනුකුලව ඔබේ CV එක ගොඩනගාගන්න ඔබ වෙහෙසෙන්න ඕනි. 

අන්න ඒ විදියට තොරතුරු පෙලගස්වපු සටහනක් මම අද ඔයාලට අරගෙන එන්න හිතුවා. විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණික ක්ෂේත්‍රයේ නියැලීමට බලාපොරොත්තු වන්නන්ට. CV එකක් හදන සම්මත ආකෘතියක් නැහැ. මොකද මම මේ සටහනේදී දෙන මේ කරුණු පොඩ්ඩක් විතර සුදුසුකම් අනුව එහාට මෙහාට කරගත්තට වරදක් නැහැ. හැබැයි තොරතුරු ඉදිරිපත් කිරීමේදී කාලානුක්‍රමික පිළිවෙලකට (chronologically) ඉදිරිපත් කරන්න පුළුවන් නම් තවත් පිළිවෙලයි. කෙසේ වෙතත් වෘත්තීයමය සුදුසුකම් වලට වැඩි තැනක් ලැබෙන විදියට මේ CV එක ගොඩ නැගෙන්න ඕනි කියන එක තමයි මගේ නම් මතය.

------------------------------------------------------------------------------------------------------

1. නම, දුරකථන අංකය සහ ලිපිනය ශීර්ෂපාඨය ලෙස

2. Objective - වෘත්තීයමය අරමුණ - පේළි 3 - 4/ වාක්‍ය දෙකක් පමණ කෙටි ඡේදයක්. උපාධියකුත් සම්පූර්ණ     කරලා විධායක මට්ටමේ රැකියාවකට යනකොට වෘත්තීය මට්ටමේ අරමුණක් තිබිය යුතුයි.

3. Professional Experience/ Projects - රැකියා අත්දැකීම් සහ ව්‍යාපෘති පිළිබඳ විස්තර.

4. Academic Qualifications - අධ්‍යාපන සුදුසුකම් - (වඩා වැදගත් සුදුසුකම් ඉහළින් සඳහන්                             කරන්න. සාමාන්‍ය පෙළ ගැන සඳහන් කරන්නවත් එපා!)

5. Professional Certifications - වෘත්තීයවේදී සහතිකපත් (උදා: OCJP, Oracle DB, CEH, etc.)

6. Skills - නිපුණතා (උදා: Java programming, PHP, xHTML, Linux, etc.)

7. Extra-curricular activities/ Achievements - බාහිර කටයුතු සඳහා සහභාගීත්වය/ ජයග්‍රහණ

8. Personal Information - පෞද්ගලික තොරතුරු - රැකියාවට බඳවාගැනීමේදී වැදගත් විය හැකි                       අත්‍යාවශ්‍යම පෞද්ගලික තොරතුරු සුළු ප්‍රමාණයක්

9. Non-related Referees/ තීරකයින්- සාමාන්‍ය සම්මතය තීරකයින් දෙදෙනෙකුගෙ විස්තර සඳහන් කිරීම.         දෙන්නම එකම ආයතනයේ නොවීම වැදගත්.

------------------------------------------------------------------------------------------------------



ගොඩාක් හොඳ CV වල දැකපු තොරතුරු අනුව තමයි මම මේ පිළිවෙල සකස්වාගත්තේ. මෙතන මම ඇතුලත් කරපු ප්‍රධාන කරුණු වලට අමතරව තව සුදුසුකම් ඔයාලට මේ CV එකට ඇතුලත් කරන්න තියනවනම් මේ කරුණු ඇතුලට ක්‍රමයෙන් ඒවා ඇතුලත් කිරීමක් කරන්න පුළුවන්. උපාධිය හදාරණ අතරතුර පර්යේෂණ පත්‍රිකාවක් පළ කරල තියෙනවනම් ඒක ඉහලින් නම සහ වෘත්තීයමය අරමුණ කියන කරුණු වලට පසුව ඇතුලත් කරන්න ඔයාලට පුළුවන් Research Experience කියලා. ඒවා ගොඩක් වැදගත් කරුණු අතහැර ගන්න එපා.



දැන් මම මෙහෙම කියල තියෙන පලියට මේ විදියටම CV හදන්න ගියොත් ඒකත් හරියන වැඩක් නෙමෙයි. තමන් අයදුම් කරන්න බලාපොරොත්තු වෙන රැකියාවත්, ආයතනයත්, තමන්ගෙ සුදුසුකමුත් ගැන පොඩ්ඩක් කල්පනා කරල බලල ගැළපෙන විධියට පිළිවෙල හදාගන්න.

Internship හෝ කෙළින්ම පළමු රැකියාවටම අයදුම් කරනවා නම් බොහෝවිට Professional Experience කියල දාන්න එකක් නැනේ ඉතින් එකට මොකද කරන්නේ කියල ගොඩක් අය හිතනවා. ඒ ගැන ලොකුවට හිතන්න එපා. ඒක නොදා ඉන්න. හැබැයි ඒ අඩුපාඩු මැකිලා යන්න ඔයාලා කැම්පස් එකේ කරපු projects, research ගැන ටිකක් Highlight කරලා ලියන්න ඒ වගේ දේවල් වලදී අපේ ක්ෂේත්‍රයේ ආයතන උනන්දුයි. ඒ නිසා තමයි Campus කාලේ නිකන්ම Degree එක විතරක් කර කර ඉන්නේ නැතුව ක්ෂේත්‍රයට අධාල භාහිර වැඩත් කරන්න කියන්නේ.

අනෙක් කරුණ තමයි ඔයාලගේ CV එක පිළියෙළ කරද්දී ඔබ විසින් පිළිපැදිය යුතු කරුණක් තමයි Professional ආකාරයේ Font වර්ග භාවිතය. මොකද මෙමගිනුත් සමගම CV එක අයත් පුධ්ගලයා සම්බන්ධව වැටහීමක් ඇති කර ගන්නවා.ඉතාමත් පිලිවෙලින් මේ සියල්ල සිදුවිය යුතුයි.





සුදුසුකම් ගැන කතා කරනවානම්...


සුදුසුකම් ගැනත් පොඩ්ඩක් සඳහන් කරනවනම් ඕනම සේවායෝජකයෙක් (employer) කැමති වෘත්තීයමය අත්දැකීම් සහ අදාළ විෂයය පිළිබඳ හොඳ දැනුමක් (domain knowledge) තියෙන කෙනෙක්ව ගන්න. ඒ නිසා මම අර කලින් කිව්ව විදියට කැම්පස් එකේ ඉන්න කාලෙ (එක වසරෙ ඉඳලම) ‘උගන්නන‘ දේ තමයි සියල්ල කියල හිතන්නෙ නැතුව අතිරේක වශයෙන් තමන් කැමති විෂයය පථයක් ගැන තනියම වැඩි දුර ඉගෙනගන්න සහ ඒ සම්බන්ධයෙන් ක්‍රියාකාරකම් වල නියැලීම වැදගත්. මේ දැනුම Skills නිපුණතා යටතේ CV එකේ සඳහන් කරන්න පුළුවන්.




හරි මම කලින් කතා කරපු කැම්පස් එකේ ඉන්න කාලෙ projects කරල තියෙන එකත් වැදගත් කියන මාතෘකාවට අනුගත වෙමු. Project කිව්වම එකෙක අයගේ ඔලු වල තියෙන්නේ එක එක කුණුගොඩවල්. Industry එකට එන ගොඩක් අය හිතන්නේ Projects කියල ඔවුන් අදහස් කරන්නේ Campus එකේදී ඔවුන් විසින් සිදුකල කණ්ඩායම් පැවරුම් කියල එක සම්පුර්ණයෙන්ම වැරදි අදහසක්. සේවායෝජකයගෙ පැත්තෙන් ගත්තොත් කැම්පස් project එකක් සම්බන්ධ අත්දැකීම් විධියට බලාපොරොත්තු වෙන්නේ අනුග්‍රාහකයෙකුත් (client), නිසි අධීක්ෂණයකුත් (supervision) යටතේ විධිමත් ක්‍රියාපිළිවෙලක් ඇතුව කරපු project එකක්. බොහෝ විට අවසාන වසර ව්‍යාපෘතිය ගැන මේ යටතේ සඳහන් කරන්න පුළුවන්.



පුලුවන් නම් Internship එකක් කරල තියෙන එකත් යම්තාක් දුරකට වැදගත් වෙනවා. ඒකට ස්ථිර රැකියාවකට තරම්ම පිළිගැනීමක් නැතත්, internship එකක් කළා කියන්නෙ වෘත්තීයමය අත්දැකීම් ටිකක් තියෙනව කියන එක. Internship එකෙන් පස්සෙ පළමු රැකියාවට යන්න CV එක හදනකොට Professional Experience යටතට internship experience එක දාන්න පුළුවන්.



නාගත්තු CV ...



ඔන්න හදාගත්තු CV එක කට්ටියට යැව්වට පස්සෙ ඊළඟට එන්නෙ සම්මුඛ පරීක්ෂණය. අර මම කලින් කිව්වා වගේ ඔයාල කරපු Project ගැන අහල තියෙන අස්සට Campus එකේදී කරපු Assingments රින්ගේව්වොත් අර Project එකේ වටිනාකමත් නැති වෙලා යනවා සේරම අච්චාරුවක් වගේ වෙනවා නේද? සේරටම හොඳයි නේද කියපු විදියටම කළා නම් ?




CV ගොඩක අවුල තමයි නිපුණතා (Skills) යටතේ කැම්පස් එකේ එක එක විෂයයන් යටතේ එක එක Semesters වලදී තැනින් තැන ඉගෙනගනිපු ක්‍රමලේඛණ භාෂා ඔක්කොම දාලා තියෙනවා. උදාහරණයක් විධියට කැම්පස් එකේ එක වසරෙදි "Introduction to Programming" වගේ විෂයයක් යටතෙ ක්‍රමලේඛණ භාෂා තුනක් විතර ඉගෙනගත්තනං skills යටතෙ දානව VB.NET, Java, C/ C++ වගේ ඒ ඔක්කොම. ඊළඟ අවුරුදු වල ඉගෙනගත්ත ඒවත් එක්ක මේ ලිස්ට් එක තවත් දිග වෙනව VB.NET, Java, C/C++/C#, PHP, JavaScript, XML, Python,.... නමුත් වෘත්තීයමය අත්දැකීම් තියෙන කෙනෙකුට හොඳටම තේරෙනවා එසේ මෙසේ පොරකට හැර පළවෙනි රස්සාවට අයදුම් කරන Campus යන ශිෂ්‍යයෙක්ට නම් මේ සඳහන් කරලා තියෙන හැමදේම හොදටම බැරි වග. සේවායෝජකයගෙ පැත්තෙන් සම්මුඛ පරීක්ෂණයකට කැඳවන්න CV තෝරන කෙනාටත් එහෙම හිතුණොත් මොකද වෙන්නේ? තමන් දන්න programming languages කීපයක්ම CV එකේ දාන්න අවශ්‍ය නම් උදාහරණයක් විධියට පහත අයුරින් සඳහන් කරන්න රැවුලත් කැඳත් දෙකම බේරගන්න පුළුවන්.





"A passionate C++ programmer. Also familiar with Visual Basic and Java."



මෙතනදි තමන් හරියටම දන්න එක මොකක්ද කියල පැහැදිලිව කියල තියෙනව වගේම, අනිත් programming languages දෙක ආශ්‍රිතව වැඩක් පැවරුවොත් වැඩේ ගොඩදාන්න බැරිකමක් නැති බවත් කියවෙනව.



තවත් අවුලක් තමයි සමහර අය CV එකේ දාන දේවල් ගැන හරියාකාරව දැනගෙන නෙමෙයි දාන්නෙ. උදාහරණයක් විධියට, එක වසරෙදි Fedora Linux environment එකක C ක්‍රමලේඛණය ඉගෙන ගත්තනම් ඒක CV එකේ skills යටතෙ දානවා C/C++, LinuxFedora කියල. ඒක ලියල තියෙන හැටියෙන්ම එතකොට මැනගන්න පුළුවන් Linux ගැන දන්නෙ මොනවද කියල. මම CV කිහිපයක දැකලා මතක ඇති මේ විධියේ වැරදි කීපයක් සඳහන් කරන්නම්.


  • PCs running Windows, MacOS, Linux and Unix - මෙයාට ඕනෙ වුණේ මෙහෙයුම් පද්ධති ගොඩක් භාවිත කරන්න දන්නවා කියන්න. නමුත් මෙතන ප්‍රායෝගිකත්වය පිළිබඳ තරමක ගැටළුවක් තියෙනවා.
  • Web development languages: HTML, CSS, and Dreamweaver - Dreamweaver කියන්නෙ ක්‍රමලේඛණ භාෂාවක්ද?
  • Programming languages: Java, PHP, .NET - .NET කියන්නෙ framework එකක් මිස භාෂාවක් නෙමෙයි.
  • MySQL Server, Oracle Server, MSSQL 2005/2008 - මෙතන තියෙන්නේ වචන යෙදීම පිළිබඳ පොඩි නොගැළපීමක්. Oracle RDBMS කිව්වනං ගැළපෙනවා.


මේ වගේ වැරදි වලින් පැහැදිළිවම පෙන්නුම් කරන්නෙ නොසැලකිලිමත් කම. මේ වගේ අඩුපාඩුත් ටිකක් හොයල බලල හදා ගත්තනං CV එක ලස්සන වෙනවා.



Defendability



මෙන්න මෙතනත් ඉතාමත් වැදගත් කරුණු රැස් වන තැනක්. ඔව් අපි CV එකක් හැදුවා නමුත් බලන්න කිහිප වතාවක්ම එකිනෙකට පරස්පර විරෝදී කරුණු මෙහි ඇතුලත් ද කියා.. මන්ද ඔවුන් විසින් ඔබෙන් ප්‍රශ්න කරන අවස්ථාවේදී අමාරුවේ නොවැටෙන අයුරින් පිළිතුරු ලබාදීමට හැකියාවක් ඇත්නම් ඔබ සමත්. ඒ සියල්ල තීරණය වනුයේ මෙමගිනි. මොකද කොමාවකටත් මනුස්සයෙක් මරන්න පුළුවන් නිසා අමාරුවේ වැටෙන විදියේ දේවල් CV එකේ ඇතුලත් කරන්න එපා.




මම ඉහළිනුත් කියල තියෙන skills දිග ලැයිස්තු වලටත් මේක අදාළ වෙනව. තාක්ෂණික දේවල් දන්නව කියල පෙන්නන්න CV එකේ කණාවට නොදන්නා දෙයක් කියල තිබුණොත් මොන වගේ තාක්ෂණික ප්‍රශ්න අහයිද? ඒ සම්බන්ධව ගැඹුරු ප්‍රශ්නයක් බැරි වෙලාවත් ඇහුවොත්, අපි කනාවට ඇතුලත් කරපු දේ ගැන දන්නෙත් නැත්තං විළිලැජ්ජාවෙ පණ යනව නේද? ඒ නිසා හරියටම දන්න දේවල් ගැන විතරක් CV එකේ දාන්න.





විශේෂයෙන්ම වෘත්තීයමය අරමුණ (objective) ගැන කියවෙන ඡේදය ගැන සැළකිලිමත් වෙන්න. තියෙන කම්මැලිකමට Google එකෙන් පොඩි සර්ච් පාරක් දාලා හොයාගත්ත පේළි දෙකක් කොපි පේස්ට් කරන්නෙ නැතුව තමන්ම හිතලා තමන්ට defend කරගන්න පුළුවන් එකක් කෙටියෙන් ලියන්න. සම්මුඛ පරීක්ෂණයකදි CV එකේ තියෙන හැම දෙයක් ගැනම ප්‍රශ්න අහන්නෙ නෑ. නමුත් කොයි දේ ගැන ප්‍රශ්න අහයිද කියල කියන්නත් අපි දන්නෙ නෑ. ඒ නිසා හැම දේම සම්පූර්ණව, තිබුණාම අපි ප්‍රවේසම්.





ගුණදොස් විපරම - proof reading



අන්තිමට කරන්න තියෙන්නේ යාලුවෝ ටිකක් එකතු වෙලා ගුණදොස් විපරම් කරන එක තමයි මම මේ ගුණදොස් විපරම් කිරීම යන්නෙන් අදහස් කරන්නේ අපි අවසාන කරගත්තු CV එක යහළුවෝ සමග බෙදාගෙන තියෙන අඩුපාඩු විපරම් කරලා බලන එක. මොකද අපිට පෙනෙන දර්ශන පථයට සාපේක්ෂව වෙනත් කෙනෙක් ඒ දෙස බලන විදිය වෙනස් වෙන්න පුළුවන්. මොකද මම එහෙම කියන්නේ සේවාදායකයා දැක්මට ඉඩ ඇති අඩුපාඩුකම් යහළුවෙක් දැකීම රැකියා අවස්ථාව ගිලිහි යාමට හේතුවක් නොවන නිසාවෙනි. ඒ වගේම යාලුවෙක්ටත් හදවතින්ම උදව් කරන්න ඒ වගේ වේලාවකදී, කෝකටත් මේ වැඩේට හොඳ යහළුවෙක් තෝරාගන්න එකත් වැදගත් :)







ලිපිය නම් ගොඩක් ඇදුනා මොකද කියනකොට සේරම ගැන කියන්න එපැයි. ලියමනේ දිග කෙසේ වෙතත් අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මොන දේ දැම්මත් CV එක සාරාංශගත (summarize) කරගන්න එකත් ඉතාම වැදගත්. ලංකාවෙ සාමාන්‍යෙයන් පිළිගත් ක්‍රමය තමයි CV එක A4 ප්‍රමාණයෙ පිටු 3ක් හෝ 4කට සීමා කිරීම.

cv samples ඕන නම් මෙතනින් ගන්න 

Ref: Written by චන්දරේ...

1 comment:

Leave a comment,